දිගන, මහනුවර, අඹතැන්න, අකුරණ මාස කීපයකට උඩදී මෙරටේ බොහෝ දෙනෙකු බිය ගැන්වූ නගර කීපයකි. එහෙත් දැන් ඒවා මාස කිපයකට කලින් කටට හුරුවූ නම් කීපයක් බවට පමණක් පත්ව තිබේ. දිගන ට දැන් මොකද? කවුරුත් අසන්නේ නැත. සිංහල වේවා, මුස්ලිම් වේවා, දෙමළ වේවා කිසිදු දේශපාලකයෙකුට දැන් මේවා තවදුරටත් මාතෘකාවන් නොවේ.

දෙමළ සමාජය මිලේජත්වයෙන් සැහැසි කළ කළු ජූලියට වසර 35 ක් සපිරෙන විට 2018 වසරේදී නැවත වටයකින් තමන්ගේ අනෙකා වන මුසල්මානුවාගේ ජිවිත ගිනිබත් කිරීමේ කළු මාර්තුව සටහන් කිරිමට මෙරට සිංහල ලේ දුවනවා යයි කියන ජාතිවාදී මැර කල්ලි වලට හැකියාවක් ලැබිණි.රාජ්ය ආරක්ෂාවේ ආශිර්වාදය සහ ඇදිරි නීතියේ වාසියද ගත්තෝ මොවුන්ය .එයට දහසක් සාක්ෂි තිබේ. එහෙත් ඒ සියලු සාක්ෂි හැමදාමත් වුවා සේම යට යන බව නොරහසකි. ඒ නිසාම සියල්ල අමතක කිරීමේ මහා හැකියාවෙන් හෙඹි අපි දැන් අළු යට ගිනි පුපුරු එලෙසම තිබෙන්නට හැර යහමින් පිදුරු ගොඩේම නැවත නිදා සිටිමු . මෙය අතකට උත්ප්රාසයකි.වසර 35 ක් ම අප කළේ එයමය. දිගනට විතරක් එය වෙනස් වන්නට විදියක් නැත.

වරෙක දෙමළා සතුරකු කරගත්තා සේම දැන් මුසමානුවාද තමන්ගේ වාර්ගික සතුරා කරගෙන කලින් කලට තාවකාලික සතුටක් භුක්ති විදින මේ ජාතිවාදී හිස් ලබන සන්තෘප්තිය පිඩක මානසිකත්වයේම කොටසකි. දැන් දැන් රාජ්යට හේත්තූ වී වහසි බස් දොඩමින් සිටින ජාතිකවාදී චින්තනය යයි ලේබල් ගසා ගෙන සිටින ජාතිවාදී උල්පන්දම් කරුවන්ද , ආගමික වස්ත්රයන් ඇඟ දරා හිංසනයේ වචන පතුරමින් සිටින ඇතැම් කොටස් වල උසි ගැන්වීම මත ද මගේම රටේ මගේම සහෝදර මිනිසුන් විදි වේදනාවන් උඩින් ඇවිදින්නට, ඒවා හරා පාදමින් බලන්නට , නැවත නැවත අකුරු කරන්නට, දින ගණනාවක් පුරා මට සිදුවිය.සිංහලේ හැඟීම ඔද වැඩි ගියෙන් ජාතිවාදීන් මේ දරුවන්ට, මේ මිනිසුන්ට, මේ ගැහැනුන්ට උරුම කර ඇත්තේ ජිවිත පුරා සුව නොවන තුවාල මිස වෙන මොනවාද?

මේ ප්රදේශවල ඇවිද ගිය මා දුටුවේ කඩා බිද දැමු ගේ දොර වහලවල්,කඩ සාප්පු, බිත්ති, පිච්චි ගිය ඇඳුම්, අල්මාරි, පුටු සෙටි පමණක් නොවේ. දරුවන් ආසාවෙන් සෙල්ලම් කළ සෙල්ලම් බඩුය.අළු බවට පත්ව තිබු දරුවන්ගේ පොත පතය. ඊටත් වඩා ඒ හෑම තැනකම මා දුටුවේ අඳුරු වී ගිය ආයාසගත හිනාවන් මුණු වල අමාරුවන් ඔබ්බාවා ගෙන සිටි දහසක් මිනිසුන්ගේ අඳුරු මුහුණුය. ඒත් ඒවා අදටත් කියවා ගන්නට හැකි වී ඇත්තේ කියෙන් කී දෙනාටද ?

"බයේ ජිවත් වෙලා මොකටද? මට මගේම ගෙදර බය නම් ඇයි මං ජිවත් වෙලා ඉන්නේ"

දැඩි ලෙස මානසික අවපීඩනයකට ලක්ව සිටි එක්තරා පියෙක් මගෙන් විමසිය. මන් කිව යුත්තේ කුමක්දැයි ඒ මොහොතේ මට සිතා ගත නොහැකි විය. ඔබ ආරක්ෂිත යයි ඔහුට මට පෙරළා කියන්නට බැරිය.ඒ තරම් අතීරණාත්මක සංවිධානාත්මක ප්රහාර ගණනාවක් මේ මිනිසුන් වෙත ප්රචණ්ඩත්වය මුදා හළ මැර කල්ලි විසින් ඒ වන විටත් සිදු කර තිබුණි.

" මේකෙනුත් අපිට යන්න කියනවා නම් අපි කොහේ යන්ඩද? අපිත් ලංකාවේ ඉන්න මිනිස්සුනේ"

ජාතිවාදීන්ගේ සමත් කමින් අළු බවට පත්ව ගිය තම ගෙබිම හිදිමින් එක් තරුණයෙක් මා හා කියූ මේ කතාව මගේ මනසේ නිතර දෝංකාර දෙන්නකි. මේ බිම උපන් සියල්ලනට මේ බිමේ නිදහසේ ජිවත් වන්නට ඔබෙන්, මගෙන් හෝ වෙන කාගෙන් හෝ අයිතියක් ඉල්ලිය යුතු ද? නැත.

අත පය හතර පමණක් රැගෙන නග්න ව මේ ලොවට බිහිවෙන කොයි දරුවාත් අඩන්නේ එක විදියටමය. ඒ දරුවාට මුස්ලිම්, සිංහල, දෙමළ කියා වෙනසක් නැත. එහෙත් ඒ දරුවාම පසු කලෙකදී උප්පැන්නයේ ජාතිය මුස්ලිම් යයි සඳහන් වීම නිසාත්, තමන්ගේ නම මුස්ලිම් වීම නිසාත්,පල්ලි යන නිසාත්, කුරානය කියවන නිසාත්, තොප්පිය හෝ මොට්ටැක්කිලිය පළදින නිසාත් මේ රටේ වෛරයට පාත්ර වන්නේ "හම්බයන්" හෝ "තම්බින්" වීමෙනි.

ඒ නිසාම බහුතරයක් සාමාන්ය ව්යවහාරයේ කියන්නා සේ "තම්බින්ට කෙලවෙනවාට" උඩින් නැතත් හිත යටින් බොහෝ සිංහලයෝ කැමතිය. ඒ නිසාම දිගනේදී ද වුයේ ජාතිවාදයට අත ඉහලින්ම එසවූ අතලොස්සක් වූ ජාතිවාදීන්ට පාඩුවේ වැඩේ කරගෙන යාමට ඉඩදී බහුතර සිංහලයා කට වසා ගෙන කිසිවක් නොවූ ගානට සිටීමය. ඒ නිසාම ගල් ගැසීමෙන් නොනැවතුණු චන්ඩින්, පෙට්රල් බෝම්බ දමමින්, ගෙවල් දොරවල් ගිනි තබමින් අවසානයේ මිනිස් ජීවිතද බිලි ගනිමින් විනෝද වීමෙන් නැවතිණි. රටක ඛේදවාචකයක තරම මීටත් වඩා පැහැදිළි කරන්නට කාරණා අපට අවශ්යද ?

කෙසේවෙතත් මාර්තුව ඉක්ම ගියේ තවදුරටත් මේ රටේ තද කළු පැල්ලමක් ඉතිරි කරමින් බව අමතක නොකළ යුතුමය. වගකිව යුතු පාර්ශව වන්දියකට මේ ජිවිත සිමා කොට තම දෑත් පිස ගන්නට කෙතරම් උත්සාහ කළද අප මතක් කළ යුතු යමක් වේ. රාජ්ය ආරක්ෂාවේ දැඩි නිහඬ බවත්,ඊනියා ඇදිරි නීතියේ සහයත් ඇතිව ව්යාප්ත වූ මේ මිලේච්ජත්වයට පාලකයෝ පිළිතුරු දිය යුතුය.

ඒ නිසාම කියන්නට ඇත්තේ මේ සියල්ලක් ඉබේ ප්රාදුර්භූත වූ අහම්භයන් නොවන බවය. තවමත් එය හඳුනා ගැනීමට අප අසමත් වීමෙන් මෙරටේ අප ඔප්පු කරමින් සිටින්නේ අතීතයවත්, වර්තමානයවත් අපට ඉගැන්වූ පාඩම් අප ඉගෙන ගෙන නැති බව පමණය. අනාගතයටත් ඒ ඉගැන්වූ පාඩම් වලින් වැඩක්අ ගැනීමට අල්පමාත්ර හැඟීමක් වත් වුවමනාවක් වත් අපට නැති බවය. ඒ නිසාම ධර්ගාව , ගිංතොට , අම්පාර මෙන්ම දිගනද ඉතිහාසයේ ගෙවීගිය එක පරිච්ජේදයක් පමණක්ම වනු ඇත.

මීළග "දිගන" මගේ හෝ ඔබේ නගරය නොවේ යයි මට සිතිය හැකිද? මූලයන්ට විසදුම් සොයන තෙක් ඒ හැඟීමෙන් ඔබට හෝ මට ගැළවිය නොහැකිය. තවදුරටත් එය සිංහල මටත්, මගේ මුසල්මානු මිතුරාටත් , මගේ දෙමළ අසල්වැසියාටත් කිසි දිනෙක සුව නිදි නොදෙන රාත්රීන් පමණක් ඉතිරි කොට තිබේ. දිගන තවමත් නිහඬ නැත.


Image courtesy: Ishara Danasekara

Comment Here

Guidelines to be Followed

#MinorMatters welcomes blog posts and articles that are original and thought provoking, written in a tone that is clear, respectful and engaging. All contributions will be curated prior to publication and contributors will be expected to adhere to the following guidelines as minimum standards for submission.

Accuracy

Only present as fact and/or information content that can be independently verified or content that is appropriately sourced from a reputed third party.

Fairness and thoroughness

Acknowledge that there may be multiple sides to any given issue and present your readers with information that is complete, comprehensive and contextual.

Privacy

We will not publish content that infringes a group or individual’s right to privacy, except in exceptional circumstances where there is a clear and valid public interest in doing so.

Transparency and accountability

Disclose your sources, deal openly with your readers and be accountable for what you submit.

Language

Be considerate of your readers. Do not use language that is obscene or explicit or racist. Do not employ threats, personal attacks or insults.

Disclaimer: the views and opinions expressed in each blog post belong solely to theirauthor and do not necessarily reflect the policies or position of #MinorMatters. Comments on the blog are the sole responsibility of their writers. #MinorMatters reserves the right to withhold publication of blog posts and comments that do not meet the website’s standards and requirements.